එතෙර අපි ගැන​

“එතෙර අපි සංවිධානය" යනු එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් මුහුන දෙන ගැටළු සම්බන්ධයෙන් විසදුම් සෙවීමට පිහිටවූ පුළුල්තම සංවිධානයයි. මෙහි වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතායි.

කිසිදු පක්‍ෂ, පාට, ජාති භේදයකින් තොරව ඕනෑම විදේශගත ශ්‍රී ලාංකිකයෙකුට මෙම සංවිධානයට සම්බන්ධ විය හැක. මෙය ලංකාවෙන් පරිබාහිරව වෙසෙන සියලුම ලාංකිකයන්ගේ සංවිධානයයි. එසේම මෙම සංවිධානයේ විශේෂත්වය වන්නේ විවිධ රටවල වෙසෙනා ලාංකිකයන්ගේ ඒ ඒ රටවල පැන නැගී ඇති ගැටළු එම රටවලදීම විසඳා ගැනීම සඳහා වන සංවිධානයක් පමණක් නොව එම ප්‍රශ්න පිළිබද ශ්‍රී ලංකාව තුළද හඩක් නගමින් විසදුම් සෙවීමට පිහිටවූ සංවිධානයකි.

බොහෝවිට අපි මුදල් යවමින් නඩත්තු කරන්නේ අපේ පවුලේ අය වෙන්න පුළුවන්. නමුත් එසේ මුදල් යවමින් අපි රටේ ජාතික ආදායම තර කරනවා. විදේශීය රැකියාවල නියැලෙන අය එවන මුදල් දැනට වසර ගණනාවක සිට අපේ රටේ ප්‍රධානම ජාතික ආදායමයි. රටේ ජාතික ආදායමෙන් 3/1කට වැඩි කොටසක් ලබා දෙන්නේ විදේශීය රැකියාවල නිරත වන ඔබ වැනි පිරිස් විසින් එවන මුදලින්. අපේ රටේ ආණ්ඩු ඔබලා එවනා මුදලින් යැපෙමින්, අවභාවිතයේ යොදමින් විනාශ කරමින් සිටිනවා හැර ඔබලා සංරක්‍ෂණය කිරීම, ඔබගේ පවුල්වල නිසි ආරක්‍ෂාව හා රැකවරණය ලබා දීමට හෝ සිවිල් හා මානව අයිතිවාසිකම් ලබා දෙමින් ඔබට ලැබිය යුතු නිසි ගරුත්වය, සැලකිල්ල,පිලිගැනීම ලබා දීමට සමත් වී නැති බව දිනපතා වාර්තා වන තොරතුරු වලින් පෙනෙනවා. මෙම තත්වය ඉක්මනින් සහ තීරනාත්මකව වෙනස් කළ යුතුව තිබෙනවා. සඳහා පෙරමුණගත් සංවිධානයක් තමයි එතෙර අපි සංවිධානය” . අපේ සංවිධානයේ ශාඛා දැන් බොහෝ රටවල බිහිවී තිබෙනවා.

දැනටමත් එතෙර අපි සංවිධානය යම් ජයග්‍රහණ ලබා ගෙන තිබෙනවා. විදෙස් ගත ඔබලා වෙනුවෙන් පාර්ලිමේන්තු විවාද. විදේශීය රැකියා නියුත්තන්ගේ ගැටළු පිළිබද කතිකාවතක් ලාංකීය සමාජය තුළ ආරම්භ වී තිබෙනවා. මෙම ගැටළු විසදීම සදහා නීති කෙටුම්පත් කිරීමට ද මේ වන විට සංවිධානය සාකච්ඡා කරමින් පවති.

සියලුම ලාංකිකයන් මුහුණ දෙන ගැටළුවලට තනි තනියම මුහුණ දෙනවා වෙනුවට පොදුවේ සංවිධානාත්මකව විසදුම් සෙවීමට හැකි වනු ඇති බවද, ලෝ වටා වෙසෙන සියලුම ශ්‍රී ලාංකියන්ට මෙම සංවිධානය වටා එක් රැස් වන ලෙසට අපි ආරාධනා කරන්නෙමු